‘ශලනි අක්කා වගේ කෙනෙක් මගේ යාලුවෙක් උනේ පිනකට’ රෝස මලක් වගේ සුන්දර අනුරාධා කියන කතාව

ඇය යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක් වුනත් ඇයට රංගනය නම් ආධුනික දෙයක් නෙවෙයි. රඟපාන චරිත එකිනෙකට වෙනස් විදිහක රඟදක්වමින් ප්‍රේක්ෂකයින් ආදරය ඇය දිනාගෙන අවසන්. කෙසේ වුවත් ඇය කලාව තුළ මෙන්ම සැබෑ ජීවිතයේ ද අහිංසක තරුණියක්. උතුම් පැතුම් ටෙලිනාට්‍යය හරහා කලාවට පිවිසෙන ඇය මේ වන වන විට නිර්මාණ විස්සකට වඩා අධික ප්‍රමාණයකට සම්බන්ධ වී අවසන්. අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපත ලබන ඇය නමින් අනුරාධා එදිරිසිංහ. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇය සමඟයි.

අනුරාධාගේ පියා පොලිස් නිලධාරියෙක්. ඉතින් ඔබ ඒ නිසාම හිතුවද කුඩා කාලයේ සිටම නීති ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න. ”මම කලාවට කොච්චර ලැදි වුණත් මම හිතුවේ කවදහරි දවසක නීති ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න තමයි. මට වයලින් වාදනය කරනවා බලන් ඉඳලා වයලින් වාදනය කරන්න පුළුවන් වුණා. ඒ ගැන හැමෝම පුදුම වුණා. ඒ විදිහට කලාවට සමහර දක්ෂතා මට පිහිටලා තිබුණා. ඒ කොහොම වුණත් මම හිතාගෙන හිටියා කවදා හරි දවසක විවාහ වුණාට පස්සේ මම මොන රැකියාව කළත් ඒ රැකියාවෙන් අයින් වෙලා සැමියට සලකගෙන ඉන්න. මොකද මම අම්මා තුළින් ඒ වගේ චරිතයක් දැක්කා. ඒ නිසා ඒ වගේ කෙනෙක් වෙන්න මම ආස කරනවා.”

නීති ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න හිටපු අනුරාධ කලාවට යොමු වුණා. ඔබ කොහොමද කලාවට ආස කළේ, ”කොහොමද කලාවට එන්න පාර හදා ගත්තේ, මුලින්ම මම අවුරුදු දහතුනේ දී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණා. එදා ඉඳන් තාත්තා ලොකු බයක් ඇති කර ගත්තා මම මේ කලාව කියන විෂය තෝරා ගනීවි කියලා. මගේ තාත්තට ඕනෙ වුනේ මට හොඳට උගන්වන්න. මම අධ්‍යාපන කටයුතු ඉවර කරාට පස්සේ තමයි තාත්තගේ යාලුවෙක්ගේ වැඩකට මට කතා කළේ. ඒ වැඩේට සම්බන්ධ වෙන්න තාත්තා මට අවසර දුන්නා. ඒ දවසේ තමයි රංගනය ගැන ලොකු ආසාවක් මගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තේ. කොහොම හරි ඒ ආසාව නිසාම මට කලාවට සම්බන්ධ වෙන්න වාසනාව ලැබෙනවා. මට මුලින්ම උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙනවා.”

ජීවිතයේ දෙයක් ලැබෙන කොට ජීවිතේ දෙයක් අහිමි වෙනවා. ඔබ උතුම් පැතුම් ටෙලි ටෙලි නාට්‍යයේ රඟපානවා දකින්න ආස කරපු ඔබේ පියාට එක්ක දවසක්වත් ඔබ ඒ ටෙලි නාට්‍යයේ රඟපානවා බලන්න ලැබුණේ නැහැ. ඔබ කොච්චර ආසාවෙන් හිටියත් තාත්තට ඒ වාසනාව උරුම වුණේ නැහැ නේද, ”ඔව් මගේ තාත්තා මම උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ රඟපාන කොට ඇක්සිඩන්ට් වෙනවා. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කාලයක් පුරාවට තාත්තා කොහොමත් අද තමයි ඉන්නේ. කෝමා තත්ත්වයේ හිටපු එයා සදහටම අපිව දාල යනවා. මගේ තාත්තට කවදාවත් පුළුවන් වුණේ නැහැ මම උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ රඟපානවා බලන්න. මගේ තාත්තා ගොඩාක් ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක් තමයි උතුම් පැතුම් කියන්නේ. හැබැයි එයාගේ දුව ඒ ටෙලි නාට්‍යය ඉන්නවා බලන්න එයාට බැරි වුණා. අදටත් මට තාත්තා මතක් වෙද්දි ගොඩක් දුකයි. මොකද තාත්තා නැති අඩුව කාටවත් සම්පූර්ණ කරන්න බැහැ. එයා කෝමා තත්වයේ ඉද්දි මම හොස්පිට්ල් එකට ගිහින් ඇඬුවා මම ටෙලි නාට්‍යයේ රඟපානවා බලන්න ඇස් අරින්න කියලා. මම කොච්චර ඇඬුවත් කතාව රඟපාලා ඉවර වුණත් මගේ තාත්තා ඇස් ඇරියේ නැහැ.”

ඔබේ හොඳම මිතුරිය ගැන මතක් කළොත්, ”මම හිතන්නේ මගේ ජීවිතේ ලොකු වාසනාවක් තමයි ශලිනි තාරකා වගේ කෙනෙක් යාලුවෙක් කරගන්න ලැබුණේ එක. මොකද එයා ජීවිතය ගැන දකින විදිය වෙනස්. කෙටියෙන්ම මගේ ජීවිතයේ එයා තමයි මගේ අක්කා. අවුරුදු ගාණක් ගියත් මම දැකපු උතුම් ගැහැනිය තමයි ශලිනි කියන්නේ. එයා හැම වෙලාවකම කියන්නේ මම එයාගේ නංගි කියලා. එයාගෙ තියෙන මනුස්සකම මම වෙන කවුරු ළඟවත් දැකලා නැහැ. මගේ අඩුපාඩුවක් දැක්කත් එයා මට ඒ අඩුපාඩුව හදාගන්න කියලා දෙනවා. ඇත්තටම ශලිනි කියන්නේ හිත හොඳ නිළියක්.”

අනුරාධා කියන්නේ පොලිස් නිලධා⁣රියෙකුගේ් දුවක් වුණත් පොලවේ පයගහල ජීවත් වෙන කෙනෙක් නේද, ”මම කැමතියි ගොඩක් සරලව ජීවත් වෙන්න. මහ ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න මම කැමැති නැහැ. අද සමාජයේ ගොඩක් අය කරන්නේ කැමරාව නැති තැන රඟපාන එක. හැබැයි මම කැමැතියි කැමරාව නැති තැන සරලව ජීවත් වෙන්න. ජීවිතයේ එක තත්පරයකින් මට මගේ තාත්තා නැති වුණා. මගේ තාත්තා අවුරුදු 60 ගානෙන් නැති වෙද්දි මගේ ආච්චි අවුරුදු අනූ ගණනක් ජීවත් වෙනවා. ඇත්තටම අපි කොච්චර කාලයක් කොහොම ජීවත් වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. මම පොලොවේ දූවිල්ලක් එක්ක ජීවත් වෙන කෙනෙක්. තිරයක් ඉස්සරහ මේකප් කරපු අනුරාධාට වඩා පොළොවේ පය ගහල ජීවත් වෙන අනුරාධා වෙනස්. මම මම විදියට ජිවත් වෙද්දි තමයි මට හොඳට නින්ද යන්නේ. බොරු ආටෝප වලට මම කැමති නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *