Tue. May 17th, 2022

පියුමි ශ්‍රීනායක යන්නේ කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්. විවිධ චරිත ඔස්සේ ඇය රසික ඉන්න හදවත දිනා ගන්නවා. ඉතින් අපි හිතුවා ඇයත් සමග කතා කරන්න. පියුමිට ජීවිතයේ වැරදුණ තැනක් නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ නිවැරදි කරගන්න කොතනද, ”ඇත්තටම එහෙම අවස්ථාවක් ලැබුණොත් මට නිවැරදි කරගන්න ගොඩක් තැන් තියනවා. මගේ ජීවිතේ කිහිප තැනක්ම වැරදි තීරණ නිසා වැරදුනා. ඒ මගේ පෞද්ගලික තීරණ. ඒ මොනවද කියලා දන්නේ මමත් මගේ හිතත් විතරයි. ඇත්තටම ඒ වරද නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබුණොත් මම ඒ අවස්ථාව ගන්නවා. ජීවිතයේ වැරදුණ තැන් දෙක තුන හදාගන්න මම උත්සාහ කරනවා.”

ඔබට විදේශගත වෙන්න අවස්ථාවක් ලැබුණොත්, ”මම දෙපාරක් නොහිතා විදේශගත වෙනවා. මම ඒ තීරණය ගැන දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ. මම ගිහිල්ලා මගේ අම්මා තාත්තවත් ඒ රටට ගන්නවා. අපි විසින්ම තමයි අපේ කලාවේ වටිනාකම නැති කරගෙන තියෙන්නේ. ක්ෂේත්‍රයට එන සමහර අලුත් අය කිසි වගකීමක් නැතුව මේ ක්ෂේත්‍රයේ හැසිරෙනවා. එයාලා අඩු පඩියට වැඩ කරනවා. තමන්ගෙ වටිනාකම තමා ම අඩු කර ගන්නවා. ඇත්තටම එහෙම ජීවත් වෙන්න අමාරුයි. ලංකාව දැන් යන තත්වයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා රටින් යන්න අවස්ථාවක් ලැබුණොත් මම ඒ අවස්ථා අනිවාර්යෙන් බාර අරගෙන මේ රටෙන් යනවා.”

ඔබව යම් දිනක කලාව කියන ක්ෂේත්රය තුළ ප්‍රතික්ෂේප වුනොත්, ”මම එහෙම ප්‍රතික්ෂේප වුනොත් මම ඒ ප්‍රතික්ෂේප වෙන්න හේතුව හොයලා බලනවා. යම්කිසි මගේ අඩුපාඩුවක් නිසා මම ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා නම් මම ඒ අඩුපාඩුව හදාගෙන නැවත ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මගේ අඩුපාඩුවක් නැතුව පෞද්ගලික හේතූන් මත මම ක්ෂේත්‍රය තුළ ප්‍රතික්ෂේප වීමකට ලක් වුණොත් මම මේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අතහැරලා මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා.”

නොකරපු වරදකට ඔබට දඩුවම් ලැබුනොත්, ”මම හිතන්නේ අපි කවුරු වුනත් නොකරපු වරදකට යම්කිසි දඩුවමක් ලබනවා නම් ඒ අපි පෙර කරපු අකුසල් කර්මයක් නිසා. මම උත්සාහ කරනවා මම නොකරපු වරදකට දඬුවම් විඳිනවා නම් මම ඒ වැරැද්ද නොකලා කියල ඔප්පු කරන්න. හැබැයි මට ඒක ඔප්පු කරගන්න බැරුව මට හිරේ යන්න සිද්ධ වුණොත් මම හිත හදා ගන්නවා පෙර ලොකු අකුසලයක් මම කරලා තියෙනවා කියලා.”

ඔබට දේශපාලනයට එන්න ආරාධනාවක් ලැබුණොත්, ”මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද ලංකාව ඇතුලේ දේශපාලනය කරලා බැනුම් අහන්න මම කැමති නෑ. ලංකාවේ ඉන්න හැම දේශපාලනඥයින් ම තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්න. මේ රට මේ විදිහට වැටෙන්න ලොකුම හේතුව මේ රටේ දේශපාලනය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *