Fri. Jan 28th, 2022

කාවිංග පෙරේරා කියන්නේ යොවුන් රංගන ශිල්පියෙක්. කලාවට රංගන ශිල්පියෙක් විදිහට එකතු වුණත් මේ වන විට ඔහු නිවේදනයට යොමු වී අවසන්. රෝගාතුර වී රෝහල් ගත වී ඉන්න කාවිංග කතා කරන්නයි අද අපේ සූදානම. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කළ කාවින්ද රංගනයෙන් මදක් ඈත්ව සිටින්නේ කොරෝනා වසංගතය නිසා බවයි අප හා කියා සිටියේ.

කාවිංග නිරන්තරයෙන්ම සෙව්වේ අම්මා වගේ කෙනෙක්.දැන් ඔබේ බිරිඳ තුළින් අම්මව දකිනවද, ”ඕනම පිරිමියෙක් බලාපොරොත්තු වෙන්නේ අම්මා වගේ පෙම්වතියක්. ම⁣ගේ බිරිඳ වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇය ගෙවන්නේ ඉතාම කාර්ය බහුල ජීවිතයක්. මගේ අම්මා මාව බලාගත්තේ කොහොමද කියන්න ඇය දන්නවා. ඇය ඇයට පුළුවන් උපරිම මම වෙනුවෙන් කැප වෙනවා. මම ගොඩක් වාසනාවන්ත ස්වාමියෙක්. මොකද මේ වගේ බිරිඳක් ලැබුන එකට. ඇය මගේ වෘත්තිමය ජීවිතය තේරුම් අරගෙන මගේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා. මම කියන්නේ නැහැ ඇය යශෝධරාවියක් කියලා. හැබැයි ඇය උතුම් බිරිඳක් මට.

රංගනයට පිවිසෙන ගොඩක් අය තරු වගේ. එකපාර පත්තුවෙලා එකපාර නිවිලා යනවා. එහෙම තත්වයක් උදාවෙලා තියෙන්නේ මොන වගේ හේතු නිසාද, ”රංගනය කියන දේ වලට මං මුලින්ම එන්නේ 2008 හෝ 2009 වසරවල දී. හැබැයි නළුවෙක් විදිහට මාව සමාජගත වෙන්නේ ඊට අවුරුදු 5කට විතර පසුව. මේ ක්ෂෙත්‍රය තුළ මගේ නමක් හදාගන්න ඒ තරම් කාලයක් ගත වුණා කියන්නේ හැමෝටම තමන්ගේ නමක් හදා ගන්න සෑහෙන කාලයක් යනවා. ඇත්තටම වර්තමානයේ රංගනයට පිවිසෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් වාසනාවන්තයි. මොකද ඔවුන්ට සමාජය අතරට යන්න විවිධ සමාජ මාධ්‍ය තියෙනවා. හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි රංගනය නිවේදනය කියන්නේ. මේ මොන ක්ෂේත්‍රයට ආවත් මම හිතන්නේ ඒ ගැන හැදෑරීමක් අවශ්‍ය වෙනවා. මේ ගැන අධ්‍යාපනයක් ලැබිය යුතුමයි. මොකද විෂය ගැන දැනුමක් නැතුව මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න අමාරුයි. අනිවාර්යෙන්ම විවිධත්වයෙන් යුතු චරිතයක් බිහි විය යුතුමයි. මොකද එක පාරක් වැසුනොත් තව පාරක් සොයාගෙන යන තරමට දක්ෂතාවයෙන් පරිපූර්ණ විය යුතුයි.”

රංගනය ගැන ඉගෙන ගන්න ලංකාව තුළ පහසුකම් තිබෙනවාද, ”මම හිතන්නේ ලංකාව තුළ ඒක විශාල ප්‍රශ්නයක්.ලංකාව තුළ දේශපාලනය ඇතුළේ කලාවට දෙයක් කළ හැකි අය ඉන්නවා. විවිධ වූ කලා සංගම් තියෙනවා. හැබැයි කල්පනා කරලා බැලුවොත් ප්‍රමිතිගත රංගන පාසලක් තවම ලංකාව තුළ නැහැ. ලංකාව ඇතුලත ඕනම දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ඔවුන්ව නිසි වටිනාකමක් දීලා ඔවුන්ට නිසි අධ්‍යාපනයක් දීලා කලාවට සම්බන්ධ කරගන්නවා නම් කලාව තුළ අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න පුළුවන්. පුද්ගලයෙකුගේ දක්ෂතාවය ඔපමට්ටම් කරලා යම් තැනකට ගන්න පුළුවන් නම් මම හිතන්නේ ප්‍රමිතියෙන් යුතු රංගන ශිල්පියෙක් හෝ රංගන ශිල්පිනියක් බිහිවෙනවා.”

කාවිංග කියන්නේ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ද වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද, මම කලාව කියන දේට ඇතුල් වෙන්නේ නිවේදකයෙක් විදියට. අහම්බෙන් තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ. එහෙම අහම්බෙන් සම්බන්ධ වුණත් මම රංගනයට සම්බන්ධ වීමත් එක්ක මම රංගනය පිළිබඳ ඉගෙන ගන්න පටන් ගන්නවා. මම විදෙස්ගත වෙලත් රංගනය පිළිබඳ ඉගෙන ගත්තා. මම වෘත්තිමය රංගන ශිල්පියෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තේ ඒ සියලු දේ හැදෑරීම් වලින් පස්සේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *