‘මිනිහා කෝටිපතියෙක් උනාට වැඩක් නෑ පිට යනවනම්’ රංගනයට සමුදුන් සුලේකා කියන කතාව

‘රෑන’ ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණ ඇය සුලේඛා ජයවර්ධන කලක් පුංචි තිරය තුළ දකින්න ලැබුණත් මේ වන විට ඇයව දකින්න නොලැබෙන රංගන ශිල්පිනියක්. ඉතින් අපි හිතුවා ඇය හා කතා කරන්න. රංගන ශිල්පිනියක් වූ ඇය ආදරණීය බිරිඳක් වෙද්දි මේ වන විට සුලේඛා ආදරණීය මවක් වී හමාරයි. ඉතින් ඒ නිසා අපි මුලින්ම ඒ බැඳීම ගැන කතා කරන්න හිතුවා. “පුංචි බබාලා කියන්නේ හැමෝම ආදරය කරන කොටසක්. මම උනත් පොඩි බබාලට ගොඩක් ආදරෙයි. මුලින් ඩොක්ටර් මට බබාව අතට ගෙනත් දෙනකොට ඒ සතුටට මට ඇඬුණා. මොකද මට ඒ බැඳීම ගැන අදටත් කියන්න බැරි නිසා. මම හිතන්නේ පවුලක් ශක්තිමත් වෙන්න දරුවෙක් කියන සාධකය අවශ්‍ය වෙනවා. මම දුවෙක්ට ආස වුණත් පුතෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා ඩොක්ටර් කියද්දී මට ලොකු හයියක් ජිවිතේට දැනුනා. මොකද පුතෙක් කියන්නේ ඇත්තටම අම්මා කෙනෙකුට ලොකු හයියක්.”

ඔබ ගෙවන ජීවිතේ සුඛෝපබෝගී කියලා ගොඩක් අය කියනවා. ඇත්තටම ඒ ජීවිතය සුපිරි ජීවිතයක් ද? “ඇත්තටම ඔව් මට සුපිරි ජීවිතයක් ලැබිලා තියෙනවා. එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි සල්ලි කොච්චර තිබුනත් වැඩක් නැහැ ගෙදර මනුස්සයා පිට යනවනම්. මට මගේ ජීවිතේ හොද සැමියෙක් ලැබුනා. ඒ නිසා මම මගේ මානසික සතුටක් තියාගෙන ජීවත් වෙනවා. සල්ලි කියන්නේ ජීවිතේ ම නෙවෙයි. මොකද සල්ලි කියන දේ අද නැති වෙන්න පුළුවන්. හැබැයි සතුට කියන දේ කවදාවත් නැති වෙන්නේ නෑ.”

අශෝක රන්දෙණිය කියන්නේ ඔබේ ආදරණීය සැමියා. ඔහු රටේ නමගිය ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔබේ තෝරාගැනීම ජීවිතයට වෙනසක් ඇති කළා කියලා හිතනවද. ඇත්තටම ඔව් මොකද අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. මගේ සැමියා මට කවදාවත් නීති දාලා මාව හිර කරගෙන තියාගෙන නැහැ. මට මගේ නිදහස දෙනවා. මම මගේ තෝරා ගැනීම ගැන ගොඩක් සතුටු වෙනවා. “

විවාහයෙන් පස්සේ ඔබ රංගනයෙන් ඉවත් වුණා ද ? ”මම විවාහයෙන් පස්සෙත් රංගනයට සම්බන්ධ වුණා. හැබැයි මම සැමියාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් කරනවා.ඉතින් ඒ දේවල් එක්ක මට ටික ටික රංගනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. සැමියා මාව රංගනයෙන් ඉවත් කළේ නැහැ. කවදාවත් මට ඉවත් වෙන්නේ කිව්වෙත් නැහැ. හැබැයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්න කලින් මම සැමියාට පිටපත පෙන්නලා හොඳද නරකද කියලා අහනවා. එයා හොඳයි කිව්වොත් මම අනිවාර්යෙන්ම රංගනයට සම්බන්ධ වෙනවා. දැන්නම් බබාගේ වැඩත් එක්ක රංගනයට සම්බන්ධ වෙන එක අමාරුයි. හැබැයි මම රංගනයෙන්සමු අරගෙන නැහැ. ඉදිරියේදි හොඳ නිර්මාණ ලැබුණොත් මං සම්බන්ධ වෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *