‘මම ලොකු ලොකු දේවල් කරන්න කැමති නෑ’ ජනප්‍රිය නිලි ගංගු කියන කතාව

පාසල් කාලයේ පටන්ම රංගනයට දක්ෂතා පෙන්වන ඇය මෑත කාලයේ නම් නිර්මාණ තුළින් දකින්න ලැබුනේ නැහැ. නමින් ඇය ගංගු රොෂානා. ‘නිම් හිම්’ සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා නැවතත් කරළියට එන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ගෙවුන කාලය තුළ වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියක් වන ඇය මේ වන විට රැකියාවක් සිදු කරමින් රංගන කටයුතුවලට සහභාගි වෙනවා ,

ගංගු ජීවිතය ගැන හිතන්නේ කොහොමද, ”මම ජීවිතය තුළ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. පුළුවන් විදියට ජිවත් වෙන කෙනෙක්. මම හිතන්නේ අපිට පුළුවන් විදියට ජීවත් වෙන එක තමා සතුටින් ජීවත් වෙන්න තියෙන හොඳම ක්‍රමය. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙලා අපට තියෙන සතුටත් අපි නැති කරගන්න ඕනි නෑනේ. ඉතින් ඒ නිසා මම ලොකු ලොකු දේවල් කරන්න කැමති නෑ”

ඔබ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ජනප්‍රියත්වය පවත්වාගෙන යන එක ලේසි දෙයක් ද, ”මගේ ජීවිතයේ මම පාසල් කාලේ තුළ ඉඳලම ජනප්‍රිය කෙනෙක්. හැබැයි ගෙදරින් මට යම් යම් සීමා පැනෙව්වා. මොකද ජනප්‍රියත්වය ඔළුවට ගත්තාහම මගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි කියලා. මම ඉතින් හොඳට ඉගෙන ගත්තා. මම ලොකුවට රංගන කටයුතුවලට සහභාගි නොවුණත් මම ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජන ගන්නවා. මම මගේ අනාගතය ගැන බය වෙන්නේ නැහැ. ගෙවුන කාලය තුල මට හොඳ නරක විවේචන පවා එල්ල වුණා. මට හොඳ ඉවසීමක් තිබුන ඒ හැමදේම දරාගන්න. මම දන්නවා මම මොකද කරන්නේ කියලා. හොඳ දේවල් තේරුම් බේරුම් කරගෙන මට කරන්න පුළුවන්.”

ඔබ කාලෙකින් නේද නැවත චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ, ”ඔව් මම අවසානට රඟපෑවේ හොරා පොලිස් කියන චිත්‍රපටයේ. නිම්හිම් කියන චිත්‍රපටිය මීට අවුරුදු තුනකට විතර කලින් රූගත කෙරුණු චිත්‍රපටයක්. වෙලාවට කලකිරීමකුත් දැනුනා. ලොකු කැපකිරීමක් කරලා කරපු රූගත කිරීම් ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න බැරි වුණ එක ගැන. මේ වෙද්දි රංගන ශිල්පිනින්ගේ පැවැත්ම ගැන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා, ‘නිම්හිම්’ කියන චිත්‍රපටියේ මම රාධි කියන චරිතය තමයි රඟපාන්නේ. මම හිතන්නේ මේ චිත්‍රපටය පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. මට ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ හිමිවීම ගැන ලොකු සතුටක් තියෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *