Tue. May 17th, 2022

ලස්සන කියන මාතෘකාව ගැන අපි කතා කරන්න අද තෝරාගත්තේ ලස්සන කෙනෙක්. ලංකාවේ රියැලිටි තරඟාවලියකින් සමාජගත වුන ඇය මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක්. නමින් ඇය ආලෝකා ධනංජනී. ඉතින් මේ සූදානම ඇයත් සමග ලස්සන ගැන කතා කරන්න. ලස්සන වුන පමණින් වෘත්තියකින් ඉස්සරහට යන්න පුලුවන්ද, දක්ෂ කෙනෙකුට සුන්දරත්වය කියන්නේ ආශිර්වාදයක්. ගොඩක් ලස්සන කෙනෙකුට දක්ෂතාවයක් නැති නිසා ඉදිරියට යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. තවත් වෙලාවට හැකියාව දක්ෂතාවය තියෙද්දි ලස්සන නැති නිසා ඉදිරියට යන්න බැරි අවස්ථා තියෙනවා. ඒක එක එක කෙනාටත් සාපේක්ෂයි. මම හිතන්නේ ඒ මොන දේ තිබුණත් ක්ෂේත්‍රයක ඉදිරියට යන්න දක්ෂතාවය තියෙන්න ඕන.

ඔබ ලස්සනට ඉන්න මොකද කරන්නේ, ”මම ආසයි ලස්සනට ඉන්න. ඒ වෙනුවෙන් මම කළ ප්‍රධානතම දේ තමයි වතුර බොන එක. මම සාමාන්‍යයෙන් දවසකට ලීටර් හතරක් වත් වතුර බොනවා. ඊට අමතරව කස කසා ඇය දාලා වතුර බොනවා. කස කසා ඇට වලින් සමේ තෙතමනය රැක දෙනවා. ඇගේ හැඩය තියාගන්න මම ජිම් යනවා. ජිම් එකට යන දවසට පැය දෙක තුනක් අනිවාර්යෙන් මම සෙල්ලම් කරනවා. මේ හැමදේම එක්ක මම කෑම පාලනය කරනවා. රෑට නම් බත් කන්නේ ම නැහැ. පුරුද්දක් විදිහට මම රෑට ග්‍රීන් තේ එකක් බොනවා. ඊට අමතරව මම ජූස් වර්ග බොන්න කැමති යි.”

ලස්සන වෙන්න ගොඩක් සල්ලි ඕනද, ”කෙනෙක් මේ ආත්මේ ලස්සනට ඉන්නවනම් මම හිතන්නේ ඒ කෙනා පෙර ආත්මේ ගොඩක් කුසල් කරලා තියනවා. අනික ලස්සනට ඉන්න සල්ලි අවශ්‍ය නැහැ. අපිට උපතින් ලැබුන ලස්සන පිරිසිදුව පිළිවෙලට තියා ගන්නවා නම් සල්ලි නැතුවම අපිට ලස්සන වෙන්න පුළුවන්. අනික අපි නිතරම ලස්සනයි කියල හිතෙන සිතුවිල්ලෙනුත් අපි ලස්සන වෙනවා. ජිවිතේ සතුටින් ගෙවද්දි ත් ලස්සන වෙනවා. ඉතින් ඒ නිසාම මම නම් ගොඩක් වෙලාවට සතුටින් ඉන්න උත්සහ ගන්නවා.”

ලස්සන කියන්නේ ආඩම්බර වෙන්න ඕන දෙයක් ද, ”මම හිතන්නේ නැහැ. හැබැයි ලස්සන නිසා පුංචි ආඩම්බරයක් තිබුනත් කමක් නැහැ. හැබැයි දක්ෂතාවයට හැකියාවට තියෙන තැන ලස්සනින් ගන්න බැහැ. ලස්සන කියන්නේ ඒ හැමදේම එකතු වුන තැනට ආභරණයක්.”

මතුපිටින් ලස්සන හැමෝගෙම හදවත ලස්සනයි ද, ”ගොඩක් වෙලාවට එහෙම නැහැ. ගොඩක් ලස්සන කෙනෙක් ආශ්‍රය කරද්දි තේරුම් යනවා එයාගේ හදවත ලස්සන නැහැ කියලා. සමහරු එච්චර ලස්සන නැති වුණත් ආශ්‍රය කරද්දි තේරුම් යනවා එයාගේ හදවත ගොඩක් ලස්සනයි කියලා. එහෙම බලද්දි මතුපිටින් මනුස්සයෙකුගේ හදවතේ ලස්සන මනින්න බැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *