‘මම දැන් ටොස් එක වගේ වෙලා’ අගමැති මහින්ද රාජපක්ෂ

සමාජය තුළ ඔහු ගැන නම් කතා නොකරන කෙනෙක් මේ තරම්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සුවිශේෂී පුද්ගලයෙක් ගැන. මොහු රටක් ලෝකයක් දන්න කෙනෙක්. වරෙක ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක්. අද වන විට ඔහු ශ්‍රී ලංකාවේ අගමැති. ඔව් අද අපි කතා කරන්නේ මහින්ද මහින්ද රාජපක්ෂ මහතා ගැන.

නිරන්තරයෙන් දැකිය හැකි දේශපාලන වේදිකාවේ මේ දවස්වල ඔබතුමා නිහඬ චරිතයක් වෙලා. ඒකට හේතුවක් තියෙනව ද මේ දවස් වල දේශපාලන වේදිකා නෑ නේද. ”කොරෝනා තත්වයත් එක්ක දේශපාලන වේදිකා නැතිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මාව පේන්න විදිහකුත් නෑ නේ. හැබැයි සුම් තාක්ෂණය ඔස්සේ රැස්විම් තියෙනවා. අනික දැන් ගොඩක් විවෘත කිරීම පවා තියෙන්නේ සුම් තාක්ෂණය ඔස්සේ. අරලියගහ මන්දිරයේ සාකච්ඡා තිබුනත් මුහුණ වහගෙන මීටරයක් දුරින් තමයි ඒවා කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මාව වැඩිපුර දකින්න නොලැබෙන්නේ.”

මීටරයක් දුර තියාගෙන වැඩ කරන්න සිද්ධ වෙන නිසා දේශපාලන වශයෙන් වශී කරගැනීමේ වැඩ අඩුයි නේද. ඒක ආණ්ඩුවට පාඩුවක් විදිහට දැනෙන්නේ නැද්ද, ”මටනම් එහෙම සිද්ධියක් නැහැ. මට ඕන වෙලාවට මම කරට අත දානවා. මගේ මල්ලිගේ කරට වුනත් මගේ අත දානවා. කොහොම වුණත් මම තමයි අපේ පවුලේ කරට අත දාන මිනිහා. මගේ සහෝදරයාට තියෙන්නෙ වැඩ කරන අතක්. මට තියෙන කරට අත දාන අතක්.”

ලංකාව දැන් විශාල අර්බුද රැසකට මුහුණ දීලා තියෙනවා. එන මැතිවරණයට මේ හැමදේම බලපෑමක් ඇති කරනවා නේද, ”මම හිතන්නේ බඩු මිලට වඩා බඩු හිඟය මිනිස්සුන්ට බලපාලා තියනවා. 70 කාලයේ දේශිය ආර්ථික ක්‍රමයක් හදන්න මැතිනි උත්සාහ කරද්දී රටින් ගෙනෙන ඒවා නතර කරද්දී රට තුළ බඩු හිඟ වෙලා පෝලින් හැදෙන්න පටන් ගත්තා. 77 අපි පරාද වුණා. ඊට පසු ජේ.ආර් ආවා. දේශිය කර්මාන්තය කඩා වැටෙන තැනටම ගෙනල්ලා බඩු පිටරටින් ගෙනල්ලා supermarket පිරෙව්වා. 77 පස්සේ බඩු මිල ටිකෙන් ටික ඉහළ යන්න ගත්තා. සල්ලි නෑ බඩු ගන්න විදිහක් නෑ. මිනිස්සු අවුරුදු 12ක් ඒ විදිහට රට යන්න දුන්නා. හැබැයි මේ රටේ මිනිස්සු හැදිලා නැහැ.එයාලා තේරුම් අරගෙන නැහැ.”

කාබනික පොහොර නිසා ගොවිතැන අඩාල වෙලා තියෙනවා, ඔබ නිරන්තරයෙන් ගම වෙනුවෙන් කතා කරපු කෙනෙක්, ඉතින් කොහොමද ඔබට මේ ප්‍රශ්නය දැනෙන්නේ, ”මට මේ ප්‍රශ්නය ගොඩක් දැනෙනවා. රටේ ගොවි ජනතාව ඉන්න ලොකු ප්‍රශ්නයක තමයි. හැබැයි අපි ඒක කරන්න ගිහින් තවත් ප්‍රශ්ණ ගොඩක පැටලුනා. ජනාධිපතිතුමාගේ ප්‍රධානම වැඩේ තමයි කෘෂිකර්මාන්තය. එයාගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කෘෂි කර්මාන්තය දියුණු කරලා ලෝකෙටම අපේ රට ගැන කියන්න.හරියට අපි යුද්දේ දිනුවා වගේ. හැබැයි විදේශ නියෝජිතයෝ සමහර වෙලාවට ගෝඨාට කිව්වා ලංකාවේ නිෂ්පාදන නතර කරලා පිටරටින් බඩු ගෙන්වන්න. කොරෝනා එක්ක අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න අමාරුයි. මේක ලොකු අභියෝගයක්.”

මේ අභියෝගය ජයගන්න ලොකු සැලසුමක් ඕන කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද, ”ලොකු සැලසුම් හද හද හිටියොත් අවුරුදු පහ ගෙවිලා යයි. ලොකුම ප්‍රශ්නය කෘෂි කර්මාන්ත අමාත්‍යවරයා වත් කිසි විශ්වාසයකින් නෙවෙයි මේ වැඩ කරන්නේ. අන්තිමේ මහින්දානන්දගේ පඹයෝ පාරේ පිච්චුනා. කොහොම වුනත් අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. අපි විදේශ රටවලින් ණය ගන්නවා. හැබැයි අපි නෑකම් යාළුකම් පටලගන්නේ නෑ. අපේ ගෙට රිංගලා අපේ ගෙයි දේවල් උදුරගන්න අපි ඉඩ තියන්නේ නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *