‘මම කන්නේ කාබනික පොහොර දාපු කෑම විතරයි’ මලක් වගේ සුන්දර දිනක්ෂි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය. කලා ක්ෂේත්‍රය තුළ ඇය දක්ෂ රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ද වෙනවා. කලා ක්ෂේත්‍රයේම තරුවක් වෙන සාරංග දිසාසේකර සමඟ අතිනත ගන්න ඇය මේ වන විට ආදරණීය මවක්. සුන්දර රූ සපුවකට හිමිකම් කියන දිනක්ෂි සමඟයි අද අපි ලස්සන විමේරහස් ගැන කතා කරන්න සුදානම් වෙන්නේ.

කෙනෙක් සිතුවිලි වලින් ලස්සන වෙන්න මොන වගේ දේවල්ද කරන්න ඕන, ”මම හිතන්නේ කෙනෙකුට ධනාත්මකව හිතන්න පුළුවන් නම් එය සිතුවිලි වලින් ලස්සන වෙන්න ප්‍රවේශයක් වෙනවා. අනිත් දේ තමයි කිසිම දේකට තරහ නොගැනීම. යම් සිදුවීමක දී බාහිර පාර්ශව සමඟ ඇතිවන තරහ තාවකාලිකයි. එය බුද්ධිමත් විදියට මගහැරිය හැකි නම් එය අපේ ප්‍රතිරූපය වගේම මනසටත් වාසියක් ගේනවා. අපි අපේ ලේ පිරිසිදු කරගන්න ඕනේ අපි විසින්මයි. මම සිතුවිලිවලින් යහපත් කෙනෙක් වුණොත් මගේ රූපය ද ලස්සන වෙනවා.”

සාර්ථක විවාහයකට බිරිඳ ලස්සන වීම වැදගත් වෙනවාද, ”මම හිතන්නේ බිරඳක් ලස්සන වූ පමණින් ම සාර්ථක පවුල් ජීවිත ගත කරන්න බැහැ. ප්‍රියමනාප බව නිසා සැමියාගේ ආකර්ෂණය නිරන්තරයෙන් ලබාගන්න පුළුවන්. විවාහවෙන්න කලින් දකින රූපය විවාහ වුණාට පසුව දකින්නත් සැමියා කැමතියි. පිරිසුදුකම පිළිවෙළ තියෙන ඕනම බිරිඳක් ලස්සනයි. ඒ වගේම ඒ පවුල් ජීවිතේ සාර්ථකයි. මම හිතන්නේ විවාහයෙන් පස්සේ බිරිඳක් පිරිසිදුව පිළිවෙළට ඉන්න එක එයාලාගේ වගකීමක් කියලා.

ලස්සන වූ පමණින්ම වෘත්තියකින් ඉස්සරහට යන්න පුලුවන්ද, ”කවදාවත් ලස්සන වන පමණින් වෘත්තීයකින් ඉස්සරහට යන්න බෑ. යම් වෘත්තියකින් ඉස්සරහට යන්න ඕන නම් ඒ කෙනාගේ උනන්දුව උත්සහය කැපවීම තියෙන්න ඕන. වාසනාව නිසා දේවල් ලැබෙනවා කියලත් මම හිතන්නේ නැහැ. හැබැයි අපි යම් දේකට කැපවෙනවනම් අපිට ඒ වෙනුවෙන් සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන්. එහෙම නැතුව ලස්සනින් විතරක් වෘත්තියකින් ඉස්සරහට යන්න බෑ.”

ඔබ ලස්සන වෙන්න මොන වගේ දේවල්ද කරන්නේ, ”මම ගොඩක් වතුර බොන කෙනෙක්. දිනකට වතුර ලීටර් 3 කට වඩා බොනවා. මම හිතන්නේ මට වියළි සමක් තියෙන නිසා නිතර වතුර බොන නිසා මගේ සමේ තෙතමනය රැකෙනවා. මම නිතර තැබිලි බොනවා. ඊට අමතරව කාබනික පොහොර යෙදු එළවළු පලතුරු ආහාරයට ගන්නවා. මම රසායනික පොහොර දාපු කෑම කන්නේ නෑ. විවේකයක් ලැබුණම කෝමාරිකා මදය ඇගේ ගල්වනවා. එය සමේ තෙතමනයට හිතකර වෙනවා. අපි කැරට් ජූස් නිතර පාවිච්චි කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *