Tue. May 17th, 2022

සුනිල් පෙරේරා කියන්නේ මෙරට ගායන ලෝකෙ ඉහලින් වැජඹුණ තරුවක්. හැබැයි ඒ තරුව අපි නොහිතපු වෙලාවක නොහිතපු විදිහට නිවිලා යන්න ගියා. නිවිලා ගිය තරුව ගැන ආයෙත් බොහෝ රසිකයින් ගේ හදවත් රසයෙන් පින වෙන්න ගත්තේ ඔහුගේ පුතා නිසා. ඇමරිකාවේ ජීවත් වුණ ඔහු සුනිල් පෙරේරා ගේ ආදරණීය පුත් ගයාන් පෙරේරා. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. ඇමෙරිකාව අතහැර ලංකාවට පැමිණි ගයාන් නැවත ඇමෙරිකාවට යන්න බලාපොරොත්තුවක් නැද්ද, තාත්ත නැති උනාට පස්සේ තමයි මම ලංකාවට ආවේ. දැන් ඉතින් ගෙදර අයගේ වගකීම මගේ ළඟ තියෙන නිසා මම ගොඩක් දුරට ලංකාවේ ඉදීවි. මම හිතන්නේ ඒක වගකීම කට වඩා මගෙන් වෙන්න ඕන යුතුකමක්. අයියත් මට ලොකු සහයෝගයක් දෙනවා අක්කා නංගිත් මට උදව් කරනවා. මම අවුරුදු හතරක් ම එක දිගට හිටිය ඇමරිකාවේ.තාත්තත් අසනිප වෙනවත් එක්කම මම ලංකාවට ආවා.

සුනිල් පෙරේරා කියන ගායකයා රසිකයින්ගේ හදවත් තුළ නොමැකෙන කෙනෙක්. ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වෙද්දි තාත්තා නැති අඩුව ඔබට කොහොමද දැනෙන්නේ, අයියා මම දෙන්නම වැඩිපුරම එකතුව අම්මත් එක්ක. අපි දෙන්නට දෙයක් කියන්න තියෙනවා තාත්තා අම්මට තමයි මුලින්ම කියන්නේ. වැඩිපුර මම අයියාතාත්තා එක්ක කතා කළේ නැහැ රට ඉද්දි. කතා කළත් විනාඩි දෙක තුනයි කතා කරන්න ලැබෙන්නේ. තාත්තා අත්‍යාවශ්‍ය දේකට විතරයි අපිට කතා කරන්නේ. තාත්තා නැති අඩුව මට විතරක් නෙමේ අපි හැමෝටම දැනෙනවා. හැබැයි තාත්තා අපිට ජීවත් වෙන්න ඕන විදිය කියලා දුන්නා. තාත්තා නිතරම කිව්වේ හම්බ කරන මුදල් වලින් කොටසක් ආධාර වශයෙන් දෙන්න කියලා. නිතරම කියලා දුන්නේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා. තාත්තා නැති අඩුව අපේ ජීවිත වලට ගොඩක් දැනෙද්දී අපි කාලයත් එක්ක සමහර දේවල් වලට හුරු වුණා. හැබැයි තාත්තා ඉද්දි අපේ පව්ල ගොඩක් ශක්තිමත් කියලා දැනුණා.

දරුවන්ගේ ජීවිත වලට තාත්තා කොයි වගේ බලපෑම් කරලා තියෙනවද, තාත්තා අපි අරමුණු ගැන කතා නොකළ තරම්. එයා අපිට අපි කැමති අංශ වලින් ඉදිරියට යන්න අවස්ථාව ලබා දීලා තිබුණා. අයියා ව්‍යාපාර පැත්ත තෝරගත්තෙ අක්කා විවාහ වෙනකන් ඩිසයිනර් කෙනෙක් වුණා. මම සංගීතය තෝරාගත්තා. හැබැයි ඒ තාත්තා නිසා කියනවට වඩා මම කැමතියි බ්ට්ලස් සංගීත කණ්ඩායම නිසා කියනවනම්. මගේ හිත සංගීතයට ඇදිලා ගියේ ඒ සංගීත කණ්ඩායම නිසා. නැතුව තාත්තා නිසා නම් නෙමෙයි.

ඔබ ලංකාවට ආවේ තාත්තා නැති අඩුව ජිප්සිස්ලාට පුරවන්නද, නෑ නෑ එහෙම දෙයක් නැහැ. මම ඒ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න නෙවෙයි ලංකාවට ආවේ. පියල් බාප්පා ජිප්සීස් සංගීත කණ්ඩායම කරගෙන යනවා. මම ඒ කණ්ඩායමේ කළමණාකරන පැත්තට විතරයි යොමු වෙලා ඉන්නේ. මම මගේ සංගීත කටයුතු කරගෙන යනවා. මම ඉදිරියේදී නිර්මාණය කරන ගීත මගේ නමින් තමයි එළියට එන්නේ.

ඔබේ විවාහය ගැන කතා කලොත්, මම දැන් පෙම්වතෙක්. එයා සංචාරක හොටෙල් ශේස්ත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. අපේ පවුලේ මමයි නංගියි තමයි තවම විවාහ වෙලා නැත්තේ. ඉදිරියේදි බලනවා ඉතින්.

සුනිල් පෙරේරා කියන චරිතය ඔබ දැක්කේ කොහොමද, එයා විවෘතව කතා කරපු කෙනෙක්. මනුෂ්‍යත්වය කියන දේ තිබුන කෙනෙක්. කවදාවත් කිසිම කෙනෙකුට වංචාවක් කරලා නැහැ. එයා හැමදාම හැමදාම එකම විදියට ජිවත් වුන කෙනෙක්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මගේ තාත්තා චරිත දෙකේ කෙනෙක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *