‘මට සුපිරියට පාන් කොත්තු ගහන්න පුළුවන්’ සංජනා කියන කතාව

වර්තමාන කලා ක්ෂේත්‍රයේ දකින්න ලැබෙන දක්ෂ රංගන ශිල්පිනියක් විදියට සංජානා ගමආරච්චි හඳුන්වන්න පුළුවන්. රංගනයට කුසලතාවයක් තියෙන නිසාම අද අපි රංගනය ගැන කතා නොකර මේ දිනවල ඇය වඩාත් ප්‍රිය කරන ඉවුම්පිහුම් ගැන කතා කරන්න හිතුවා. විවේක කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න සංජානා විවිධ වෙනස්කම් සහිත ආහාරපාන හදලා බලන්න උත්සහ කරනවා කියලයි අපිට කිව්වේ. ඒ වගේම සංජානා කිව්වේ කෑමක් රසට හදලා ඇය ඉන් ලොකු සතුටක් ලබන බවයි.

සංජානාගේ ගෙදර අයගේ වැඩිම ඉල්ලුම සහිත කෑම මොකක්ද, ”තාත්තා නම් මම හදන ඕන කෑමක් රසයි කියලා කනවා. ගෙදර අය වගේම මගේ යාළුවෝ ගොඩක් ආසයි මම හදන පාන් කොත්තු වලට. හැමෝම ඒ කෑම රස කර කර කනවා. මම හිතන්නේ මට රසටම හදන්නත් පුළුවන් පාන් කොත්තු කියලා.”

පුංචි කාලේ නම් උයන්න පිහන්න ආස කෙනෙක්ද, ”ඔව් මම පුංචි කාලේ ඉදන්ම අම්මත් එක්ක උයන පිහන වැඩ කරලා තියෙනවා.මගේ අම්මට වගේම මගේ ආච්චිටත් රසට උයන්න පුළුවන්.ඒ වගේම මම විශ්වාස කරනවා කරනවා අත් ගුණයක් තියෙන කෙනෙක් කෑම හැදුවම කෑම රසයි කියලා.පුංචි කාලේ ඉදන්ම කෑම උයන්න ආස නිසා කැමැත්තෙන් තමයි මම කෑම හදන්නේ.”

තරුණියක් විදිහට ඉහුම් පිහුම් ගැන දැනගෙන සිටීම කොයි තරම් දුරට වැදගත් වෙනවාද, ”මම හිතන්නේ තරුණියකට වටිනාකමක් වැදගත්කමක් දෙන දෙයක් තමයි උයන්න පිහන්න දැනගෙන සිටිම. වර්තමානයේ දිහා බලද්දී ගොඩක් තරුණියෝ විශේෂිකරණය වෙන්න හදනවා මම උයන්න දන්නැහැ මට උයන්න බැහැ කියලා. මම නම් ඒක දකින්න හරිම මෝඩ ක්‍රියාවක් විදිහට. අපි මොන තරම් වයසට ගියත් මොන වයසක හිටියත් රසට කෑමක් හදන්න පුලුවන්නම් ඒක ඇත්තටම තමන්ට තමන් ගැන ඇතිවෙන ආත්මාභිමානයක්. ගැහැනියක් වුනහම කාල කළමනාකරණය කරගන්න ඕන. හැමදේටම කාලය වෙන් කරද්දී උයන්නත් කාලයක් වෙන් කරන්න ඕන.”

උයන පිහින එක වදයක් නෙවෙයිද, ”නැහැ.මටනම් උයන පිහන එක වදයක් නෙවෙයි. හැබැයි ඒක වදයක් කියලා හිතාගෙන වැඩ කළොත් වදයක් තමයි. මම මේ දේ කළොත් මම වගේම අනිත් අය සතුටු වෙයි කියලා හිතලා වැඩ කළොත් ඇත්තටම උයන පිහන එක සතුටක්. මගේ අම්මත් කොච්චර කාර්යබහුල වුණත් අපි හැමෝටම උයලා පිහලා දුන්නා. එයා කවදාවත් අපේ පෝෂණය ගැන නොහිතා හිටියේ නැහැ. අපි සතුටින් ආහාර ගද්දි එයා අපි දිහා බලල සතුටු වුණා.”

මුළුතැන්ගෙයි වැඩ කළ යුත්තේ කාන්තාවන් පමණද, ”නෑ එහෙම නියමයක් නෑ. මොකද මගේ තාත්තා වුණත් රසට උයන්න පිහන්න දන්න කෙනෙක්. අම්මා අසනීප වෙලා ඉන්න කාලෙම තාත්තා තමයි අපිට කන්න උයලා දුන්නේ. ගෙදරක පිරිමි කෙනෙක්ට උයන්න පිහන්න ගෙදර වැඩ කරන්න පුළුවන් නම් ඒ පවුල ඇතුලේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මොකද එතකොට වැඩ බෙදාගෙන කරන්න පුළුවන්. මම හිතන්නේ වර්තමානයේ තරුණයන්ට ගොඩක් රසට උයන්න පුළුවන්. කොහොමත් උයන්න ගියහම ගැහැණු ද පිරිමි ද කියලා අදාළ වෙන්නේ නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *