‘මට තාම පෙම්වතියක් නෑ’ හැමෝම ආදරේ කරන දියෝගබදු කියන කතාව

මේ දිනවල කවුරුත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක් විදියට නාඩගම්කාරයෝ හඳුන්වන්න පුළුවන්. ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැලඳගත්ත මෙම ටෙලි නාට්‍යය චරිත වලට පවා බොහෝ දෙනා ඇලුම් කරනවා. ප්‍රධාන චරිත පමණක් නොව සෙසු චරිතවලට ද ප්‍රේක්ෂක ආදරය හිමිවන්නේ හිතාගන්න බැරි විදිහට. අන්න ඒ විදිහට ආදරේ ලබන චරිතයක් ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ඔහුගේ කතා විලාශය වෙනස්. ඔහුගේ හැසිරීම වෙනස්. නාට්‍ය තුල නම් ඔහු දාමරිකයෙක්, වලි කාරියෙක් මෙන්ම ගෝලයෙක්. නාට්‍ය තුළට දියෝගබදු වෙද්දි නමින් ඔහු මනුජ ජයකොඩි. කරාටේ ක්‍රීඩකයෙක් වන මොහු සිනමාව පිළිබඳව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.

අපි මුලින්ම දැනගන්න කැමතියි මනුජ කොහොමද දියෝගබදු වුනේ, ”මම උසස් පෙළ ඉවර කරලා සද්ධා සූරියබණ්ඩාර සර්ගේ ඇකඩමියේ අවුරුද්දක් විතර රංගනය පිළිබඳ ඉගෙන ගත්තා. ඒ හැදෑරීමෙන් පසුව තමයි මට සද්ධා සර් මේ අවස්ථාව ලබා දුන්නේ. ඊට කලින් වේදිකා වල රඟපාලා තිබුණා. පාසල් කාලේ ඉදන්ම රංගනය කියන දේට මම කැමැතියි. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම සම්බන්ධ වුණා. ඔය විදිහට තමයි කලාවට මම සම්බන්ධ වුණේ.”

දියෝගබදු වගේ මැර චරිතයට ඔබ කොහොමද පුරුදු වුණේ, ”අපිට චරිතයක් ලැබුණාම අපිට ඒ චරිතය රඟපාන විදිහ ගැන ඒ චරිත ස්වභාවය ගැන හිතන්න වෙනවා. ඒ විදිහට හිතලා කල්පනාවෙන් චරිතය ගැන අවධානය දුන්නොත් විතරයි අපිට චරිතය සාර්ථක විදියට රඟපාන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ පිටපත දෙන වෙලා අපි සද්ධා සර් ඒ ඒ චරිත ගැන පැහැදිලි කිරීමක් කළා. ඇත්තටම මේ චරිතය තුළ මගේ කතා විලාසය වෙනස්. මම මේ චරිතයට ම තමයි මගේ කතා විලාසය හදාගත්තේ. කොහොම වුණත් දියෝගබදු කියන්නේ තරමක් මෝඩ කෙනෙක්.”

දියෝගබදු ට ප්‍රේමවන්තියක් නැති වුණාට මනුජට ප්‍රේමවන්තියක් ඉන්නවද, ”ඇත්තටම මට ප්‍රේමවන්තියක් නැහැ. ආදරය කියන දේ හැමෝටම අවශ්‍ය දෙයක්. මොකද ලෝකය පවතින්නේ ආදරේ කියන දේ මත. හැබැයි මම දැන් ආදරේ කියන දේ දෙන්නේ මගේ කලාවට. මට ආදරය කරන්න කෙල්ලෙක් තවම නැති වුණාට කලාව කියන දේත් එක්ක මම ජීවත් වෙනවා.ඉදිරියේදී කලාවට වගේම තව කාට හරි මම ආදරේ කරාවි.කාලයට ඉඩ දීලා බලමු.”

නාට්‍ය චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද, ”කවුරුත් මම දැක්කට සැබෑ ජීවිතයේදී නම් බය වෙන්නේ නැහැ. ගොඩක් අය මේ චරිතයට ආදරය කරනවා කියලා මට හිතෙනවා. සමහර වෙලාවට නම් ප්‍රේක්ෂකයෝ මට හමුවුණාම සරාට ගහන්න එපා කියලා එහෙම කියනවා විහිලුවට. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී. මොකද එතකොට හිතෙනවා ඇත්තටම අපි චරිතය සාර්ථක විදියට ප්‍රේක්ෂකයන් ඉදිරියේ රඟපාල කියලා. මගේ චරිතයට විතරක් නෙමෙයි මේ නාට්‍ය හැම චරිතයකටම ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරේ කරනවා කියලා අපි දන්නවා.”

සැබෑ ජීවිතයේදී මනුජ කොයි වගේ කෙනෙක්ද, ”මම ජීවිතේ විඳින්න කැමැති කෙනෙක්.මේ ගෙවෙන හැම මොහොතක්ම විඳින්න ආසයි.ජීවිතයේ ලබන අත්දැකීම් එක්ක ජීවිතේ ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා.මගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ගන්න තමා ලොකුම බලාපොරොත්තුව.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *