Sat. May 21st, 2022

‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ‘අනූපම’ කියලා කිව්වොත් අදටත් බොහෝ දෙනෙක් ඔහුව හඳුනන බව නොඅනුමානයි. එම ටෙලිනාට්‍යයේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හද සොරා ගත් ඔහු නමින් මේනක රාජපක්ෂ. මේ දිනවල නම් ඔහු ඔහුගේ ‘සුහුඹුල්’ ටෙලි නාට්‍ය වෙනුවෙන් කාර්ය බහුල වෙද්දි අපි හිතුවා ඔහු ගැන කතා කරන්න.

ඉතින් මේනක මේ දිනවල ගෙවන ජිවිතේ කොහොමද, මේ දවස්වල ජීවිතේ නම් හරිම නැවුම්ව ගෙවීගෙන යනවා. අපේ පවුලට එකතු වුන අලුත් අමුත්තත් එක්ක බොහොම සැහැල්ලුවෙන් සතුටින් කාලය ගෙවලා දානවා. එයත් එක්ක සතුටින් ඉන්න ගමන් කලා කටයුතුත් සමබරව කරගෙන යනවා. මම අධ්‍යක්ෂනයටත් යොමු වෙලා ඉන්නවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යයත් විකාශනය වෙනවා.

ආලියා ඔබේ කුළුදුල් අධ්‍යක්ෂවන ටෙලි නාට්‍ය නේද, ඒ ගැන විස්තර ටිකක් කිව්වොත්, ‘ආලියා ටෙලි නාට්‍යය පවුල් පසුබිම පාදක කරගෙන නිර්මාණය වුණු ටෙලි නාට්‍යයක්. ජීවිතයේ අරමුණු වලට, ඉලක්ක වලට, බාධක කම්කටුලු මැඩගෙන යන චරිතයක කතාවක්. ඒ ටෙලි නාට්‍යයට ශෙසාද්‍රි ප්‍රියසාද්ව තමයි අපි තෝරගත්තෙ. ඒකට හේතු කිහිපයක් තිබුනා. එකක් තමයි මේක එයාගේ පලවෙනි ටෙලි නාට්‍යය නිර්මාණය. අනික තමයි අනවශ්‍ය ඕපාදූපවලින් කටකතා හදන්න නොගත්ත කෙනෙක් ගන්න මම පරිස්සම් වුණා.’

ඉතින් ශේෂාද්‍රි කියල කියන්නේ ඒ වගේ චරිතයක්. මගේ පළවෙනි නිර්මාණය තුළ වුනත් එයාගේ රඟපෑම මට නම් ප්‍රවීණයි. ඒ නිසා එයා අලියාට හොඳ සාධාරණයක් ඉෂ්ට කරයි කියලා මට විශ්වාසයි. එයාට අමතරව පුබුදු චතුරංග, බිමල් ජයකොඩි, උපේක්ෂා ස්වර්ණමාලි, ජගත් චමිල, මොරීන් චාරුනී, කුමාර තිරිමාදුර වගේ ප්‍රසිද්ධ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකුත් ආලියා සඳහා දායක වුණා.’

රංගන ශිල්පියෙකු වූ පමණින් අධ්‍යක්ෂණය කිරීම පහසුයි කියා ඔබ සිතනවාද? ‘කොහෙත්ම නැහැ. මමත් සියල්ල හදාරමින් තමයි සිදුකරන්නේ. දන්න අයගෙන් නොදන්න දේවල් අහගෙන මේ කරපු නිර්මාණය මම හිතනවා යම්තාක් දුරට සාර්ථකයි කියලා. ආලියා හරහා මමත් ලොකු ලොකු අත්දැකීම් ලබාගත්තා. නළුවෙක් වෙලා රඟපානවට වඩා අධ්‍යක්ෂකවරයෙක් වෙන එක ගොඩක් අමාරුයි වගේම හරිම වගකීම්සහගතයි කියන එක මම ඉගෙන ගත්තා. ඒ ගැන සතුටුයි.’

මේ දවස්වල ඔබ ශරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතනවාද “අපොයි ඔව්. පහුගිය දවස් ටිකේ මගේ බර කිලෝග්‍රෑම් 21 කි වැඩි වුණා. මේ වෙද්දි අටක් අඩු කරගෙන තියෙනවා. තව දහතුනක් අඩු කරගන්න ඕන. ඇත්තටම නෙහාරා තමයි ගොඩක්ම මාව එකට උනන්දු කරවන්නේ. මොකද ගියපු දවස් ටිකේ මම සෑහෙන්න කම්මැලි වෙලා හිටියෙ.’

ඔබ අධ්‍යක්ෂණය කරන නාට්‍යයක අනාගතයේ නෙහාරා රඟපායිද? “ඒක නම් කියන්න බැහැ මම අධ්‍යක්ෂණය කරා කියලා මම ඒකෙ රඟපාන්නෙත් නැහැ. එනිසා මගේ ටෙලි නාට්‍යයක නෙහාරට චරිතයක් තියෙයිද කියලා මම දන්නෙ නෑ. කොහොම වුනත් පෞද්ගලික ජීවිතය වෘත්තිය ජීවිතය මම පටලව ගන්නේ නැහැ.”

පවුල් ජීවිතය ගැන සහ අලුත් අමුත්තිය ගැන ටිකක් කියමු. “මගේ දුව නෙලී නිකොලා රාජපක්ෂ. තවම චූටි රෝස මලක්. ඔයා අපේ පවුලේ ආදරේ සහ බැඳීම තවත් ශක්තිමත් කරා. මම තාත්තා කෙනෙක් විදියට උත්සාහ කරනවා උපරිම ආරක්ෂාව මගේ දුවට දෙන්න. හොඳම තාත්ත කෙනෙක් වෙන්නත්.මගේ දුව සමාජයට හොද කෙනෙක් කරන්නයි මටයි නෙහාරටයි ඕන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *