Sat. May 21st, 2022

ඇය නිරූපිකාවක් ගායිකාවක් රංගන ශිල්පිනියක් නර්තන ආචාර්යවරියක් නිවේදිකාවක් මෙන්ම ව්‍යාපාරිකාවක් ද වෙනවා. මේ සියල්ලටම වඩා ඇය සුන්දර යුවතියක්. ඉතින් මේ කතා කරන්න සුදානම් වෙන්නේ තරුවක් ගැන. උදාරි කෞෂල්‍ය උදයකුමාර්. අද ලස්සන ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ ඇයයි.

හිත ලස්සන කරගන්න මොනවද කරන්නේ, ”විශේෂ කියලා ආයාසයෙන් දෙයක් කරන්නේ නම් නැහැ. මනුස්ස කමින් ජිවත් වෙන්න තමයි උත්සහ කරන්නේ. මගේ හිතේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය කොහෙත්ම නැහැ. අනික කෙනෙක් නැගිටිද්දි එයාගේ කකුලෙන් අදින පුරුද්දකුත් මගේ නැහැ. මනුෂ්‍යයෙක් තලලා පෙලලා සතුටු වෙන අමානුෂික ගුණාංග මගේ හිතේ නැහැ. මේ වගේ දේවල් තියන හිතක් ලස්සනයි කියලා මම හිතනවා. ඒ නිසාම ඉබේම රූපයත් ලස්සන වෙනවා ඇති කියලා වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා.”

මුහුණ ලස්සන හැමෝගෙම හදවත ලස්සනයි ද, ”නැහැ. හදවත ලස්සන ගොඩක් අයගේ මුහුණ ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ වගේම මුහුණ ලස්සන ගොඩක් අයට හදවත ලස්සන නැති වෙන්න පුළුවන්. මම හිතන්නේ ලස්සනින් අපිට හදවත මනින්න බැහැ. හැබැයි සමහරුන්ගේ හදවතත් ලස්සනයි රූපයක් ලස්සනයි. විශේෂයෙන් මම පෞද්ගලිකව දකින දේ තමයි රූපය ලස්සන අයගේ හදවත ලස්සන නැහැ කියන එක. මොකද මම ඒක අත්දැකීමෙන් දන්න නිසා. සිනාවෙන් හෝ කතාවෙන් මිනිසා මනින්න බැහැ කියන කතාව ඇත්තක්.”

ඔබ සුදු වෙන්න මොකද කරන්නේ, ”ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම සුදු වෙන්නේ ඉන්ජෙක්සන් ගහලද පෙති බීලද කියලා. හැබැයි මාව දන්න අය දන්නවා මම පොඩිකාලේ ඉදන්ම සුදුයි කියන්න. මට මගේ පැහැපත් බව ලැබිලා තියෙන්නෙ මගෙ අම්ම තාත්තගෙන්. ඒ දෙන්නත් ගොඩක් සුදුයි. මගේ තාත්තා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මලයාලම් කෙනෙක්. ඒ පළාතේ අයගේ සම පැහැපත්. මම ලස්සන වෙනවා කියලා කරන්නේ මට උපතින් ලැබුන පැහැපත් බව ආරක්ෂා කරගෙන ඒ වෙනුවෙන් කැප වෙන එකයි. ඒ ලස්සන දිගටම පවත්වා ගන්නවා මිසක් අලුතෙන් ලස්සන වෙන්න උත්සාහ කරන්නේ නෑ මම.”

වර්තමානයේ ලස්සන කියන දේට වටිනාකමක් එකතු වෙලා තියෙනවද, ”ඒක මෙහෙමයි. ලස්සන තිබුන පමණින්ම ගැහැනු කෙනෙක්ට පිරිමි කෙනෙක්ට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම වටිනාකමක් එකතු වෙනවා නම් එහි වටිනාකම තාවකාලිකයි. මම හිතන්නේ ලස්සන කියන්නේ උපකුලකයක් විතරයි. මොකද අපේ ජීවිතයේ යම් අභියෝග ජය ගන්න අපිට දක්ෂතාවය කැපවීම උනන්දුව ආසාව හැමදේම තියෙන්න ඕන. ඒ වගේම ඕනම කෙනෙකුට පෞරුෂයක් තියෙන්න ඕන. මේ හැමදේම කැටිවුණ තැන ලස්සන කියන දේට වටිනාකමක් එකතු වෙනවා.”

ලස්සන නිසාම ඔබ කරදරේ වැටිලා නැද්ද, ”නැත්තෙම නැහැ. හැබැයි කාන්තාවක් විදියට මම බුද්ධිමත් විදියට කටයුතු කරන කෙනෙක්. මගේ තාත්ත මට පුංචි කාලේ ඉඳලම කියපු දෙයක් තමයි ලස්සන වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්නත් වැඩියි කියලා. ඉතින් ඒ උපදෙස් එක්කම මට ජීවිතේ ලොකු ආරක්ෂාවක් රැකවරණයක් මගේ පවුල ඇතුලෙන් ලැබුණා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *