Tue. May 17th, 2022

ඔහු මෙරට සිනමා ඉතිහාසයේ දක්ෂ නිර්මාණකරුවෙක්. සිනමාවට අලුත් පිටු පෙරලන්න ඔහු සතුව ඇත්තේ පුදුම දක්ෂකමක්. නමින් ඔහු බෙනට් රත්නායක. මේ සුදානම ඒ සුවිශේෂී පුද්ගලයා ගැන කතා කරන්න. සැබවින්ම ඔහු සුවිශේෂී කලාකරුවෙක්. ඇත්තටම ඔබ කරපු සෑම සිනමා නිර්මාණයක්ම ප්‍රේක්ෂකයා වැළඳ ගැනීමට විශේෂිත වූ හේතුවක් තියෙනවද, ”මම හිතන්නේ මම ප්‍රේක්ෂකයන් ඉදිරියට නිර්මාණයන් ගෙනියන්නේ යම්කිසි වූ ප්‍රතිපත්තියක් මත. ඒ වෙන ම ආකාරයකින් ප්‍රේක්ෂකයා ඇමතිම. මම කවදාවත් විකුණන්න පුළුවන් වුන චිත්‍රපටි හදපු කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ චිත්‍රපටි ප්‍රේක්ෂකයින් වැළඳ ගන්නවා. කාලෙන් කාලෙට ඔවුන් මගේ නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා. මම සිනමාවට නිර්මාණයක් කරන්නේ මගේ බලාපොරොත්තු ඇතුළත් කරමින්. ඉතින් ඒ නිසා ම ප්‍රේක්ෂකයින් ඒ දේ ආදරෙන් වැළඳ ගන්නවා.”

පුංචි කාලේ ඉදන්ම ආස කලාද සිනමාවට එන්න, ”පාසලේ නම් පාසල් වේදිකාවේ රඟපාන්න පුළුවන් කියලා මම දැනගත්තා. තරුණ කාලයට එද්දී ඇත්තටම මම චිත්‍රපටි පිස්සෙක් වුනා. මම ඒ තරමට චිත්‍රපටි බලන්න පුරුදු වුණා. හැබැයි මම උසස් පෙළ කළේ වෛද්‍යවරයෙක් විමේ අපේක්ෂාවෙන්. මොකද මගේ දෙමාපියන්ගේ ලොකුම ආසාව වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. ඒ කොහොම උනත් මට ලකුණු අඩු වෙලා මම ඒ හිනෙන් ඈත්වෙලා සිනමාවට එකතු වීම ගැන අද තියෙන්නේ ලොකු සතුටක්. මේ වෙද්දි මම චිත්‍රපටි පහක් විතර කරලා තියෙනවා. ටෙලිනාට්‍ය නමයක් විතර කරලා තියෙනවා”

ඔබට අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති නේද, ”මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන එක. ඒ බලාපොරොත්තුවත් එක්ක තවත් බලාපොරොත්තුවක් තියෙනවා මගේ ජීවන අත්දැකීම් එකතු කරගෙන නවකතාවක් ලියලා රසිකයින්ගේ අතට දෙන්න. ඔය බලාපොරොත්තු තමයි දැනට තියෙන්නේ.”

ඔබ තවමත් තරුණ විදිහට ජිවත් වෙන්න හේතුව මොකක්ද, ”ඒකටනම් හේතු ගොඩක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මම බොරු සෝබන නැති පො⁣ළවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක්. මම හැමදාම ජීවත් වුණේ සැහැල්ලුවෙන්. මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. මම සතියට දින පහක් අනිවාර්යෙන්ම කිලෝමීටර් හතර පහක් ඇවිදිනවා උදේට. ලෙඩ දුක් නැති නිරෝගී ශරීර සෞඛ්‍යයට ව්‍යායාම කියන දේ බලපානවා. මම දිනකට වතුර ලීටර් තුනකට වඩා බොනවා. සීනි භාවිතය අඩු කරනවා. ඊට අමතරව පෝෂදායි එළවළු පලතුරු ආහාරයට ගන්නවා. මේ හැමදේම එක්ක තමයි ඉතින් තරුණකම රැකිලා තියෙන්නේ.”

ඔබේ බිරිඳ ගැනත් මතක් කළොත්, ”ඇත්තටම එයා මුලින්ම අකැමැති වුණා මම සිනමා කර්මාන්තයට යොමු වෙනවට. හැබැයි කාලයත් එක්ක එයා මාව තේරුම් ගත්තා. බෙනට් රත්නායක යන පුද්ගලයාට ලැබෙන ගෞරවය ආදරය ම මගේ බිරිඳට ලැබෙන්න පටන් ගද්දි ඇය තේරුම් ගත්තා මේ ක්ෂේත්‍රය ගැන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *