Sat. May 21st, 2022

ඇගේ අරමුණ නිවේදිකාවක් වීමයි. පාසල් වේදිකාවේ අයිත් දක්ෂ නිවේදිකාවක් මෙන්ම ගායිකාවක් වෙනවා. නමුත් ක්ෂේත්‍රයට පිවිසීමටයි තෝරගත්තේ රංගනයයි. මේ වනවිට ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වී අවසන්. ඇය නවක පරපුරේ රංගන ශිල්පිනියක්. නමින් ඇය ආලෝකා ධනංජනී. මේ සුදානූදානම ඒ ගැන කතා කරන්න. ඔබ කොහොමද රංගනයට එන්නේ, ”2017 වර්ෂයේ දී පැවැත් වූ sirasa film star තරඟයට මම අයදුම්පත් යොමු කරනවා. ඒ තරගයට සහභාගි වෙලා ලැබූ ජයග්‍රහණයත් එක්ක තමයි කලාවට එන්න මාර්ගය මට විවර වෙන්නේ. මට එහිදි ලැබෙන සම්මානය හොඳම ප්‍රතිවීර ගැහැනු චරිතයට හිමි සම්මානය. ඒ සම්මානය නිසා තමයි මගේ ජීවිතය මේ ක්ෂේත්‍රයට එන්න මාර්ගය හැදෙන්නේ.”

ඔබ රඟපාන්නේ චරිත තෝරා බේරගෙන ද, ”ඔව් මම චරිත ගැන සැලකිල්ලක් දක්වන කෙනෙක්. මොකද සමහර චරිත පිටපතේ තියෙන්නෙ ඕනෙවට එපාවට ලියන විදිහට. සමහර පිටපත් රචකයෝ වෙනම චරිත ගෙනල්ලා පිටපතට තියෙනවා. එහිදී ප්‍රධාන චරිතවලට සිද්ධවෙන්නේ අසාධාරණයක්. මම ඒකට කැමැති නැහැ. ඒ නිසාම මම පිටපත ගැන සැලකිලිමත් වෙනවා.මට ඕනේ මම කරන චරිතය හොඳට කරන්න. ප්‍රේක්ෂකයින්ට දැනෙන චරිතයක් වෙන්න. ඒ නිසාම වෙන්න ඇති මම නිර්මාණ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කලින් ගොඩක් හිතනවා. ඒ පිටපත ගැන.”

ප්‍රවීනයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්, ”ඇත්තටම මට ගොඩක් සතුටුයි මම මගෙන් නවක කෙනෙකුට ප්‍රවීණයන්ගෙන් මේ ලැබෙන උදව් ගැන. ප්‍රවීණයන්ගේ සහයෝගය නැත්නම් මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නැහැ. ඇත්තටම අපි ප්‍රවීණයන්ට ගරු කළොත් ඔවුන් පෙරලා අපිට ගෞරවයක් ලබා දෙනවා. මම දකින්නේ ගොඩක් දුරට ප්‍රවීණයන්ට නවක අයගෙන් ගෞරවයක් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඔවුන්ට ගෞරව කිරිම හදවතින්ම එන්න ඕන දෙයක්. එහෙම කළොත් අපිට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඔවුන්ගේ උදව් උපකාර ලැබෙනවා. සිදුවිය යුතු දේ එයයි. මොකද ඔවුන් තමයි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්. නවකයෝ විදිහට ඔවුන්ගේ උපදෙස් පිළිගන්න තරම් නිහතමානී විය යුතුය.”

රැල්ලට වගේ ඔබත් ජනප්‍රියත්වය හමුවේ හඹා යන නිළියක් ද, ”ඇත්තටම නැහැ. මම මේ වෙනකන් සම්බන්ධ නිර්මාණ වලට මට ආරාධනා ලැබුණේ මගේ දක්ෂතාවය නිසා. තාම මම මේ ක්ෂේත්‍රයට ආධුනික කෙනෙක්. මම තවම මේ ක්ෂේත්‍රයේ අය අඳුරන්නෙ ටික දෙනයි. අනික මේක ලොකු පරාසයක විහිදුණු කේෂ්ත්‍රයක්. මම කොහොමත් කැමතියි මට ආරාධනාවක් ලැබිලා රඟපානවා මිසක් ආරාධනාවක් හොයාගෙන ගිහින් රඟපාන්න නෙවෙයි. මට ජනප්‍රිය වෙන්න නෙවෙයි ඕන දක්ෂ කෙනෙක් වෙන්න. මොකද මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න දක්ෂතාවය කියන දේ වැදගත් වෙනවා. දක්ෂතාවයක් නැතුව ජනප්‍රියත්වය හමුවේ හඹාගෙන ගිහිල්ලා තේරුමක් නැහැ.”

නිර්මාණයක සාර්ථකත්වය ඔබ දකින්නේ කොහොමද, ”හොඳ තිර පිටපතක් තියනවනම් හොද අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවනම් හොද නිෂ්පාදකයෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම හොඳ නිර්මාණ බිහිවෙනවා. මම හිතන්නේ අපි අපේම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගත්තොත් නිර්මාණයක් සාර්ථක කරගන්න පුළුවන්. මොකද අද බහුතරයක් නිර්මාණ කොපි විදිහට තමයි සමාජගත වෙන්නේ. සිදුවිය යුත්ත එය නෙවෙයි කියලයි මම හිතන්නේ. අපි අපේ නිර්මාණ ඉදිරිපත් කල යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *