‘පතලකටක බැස්සා කියන්නේ සල්ලි තමයි’ කෝටිපති නළු ධනුෂ්ක කියන කතාව

තමන් රඟපාන පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම ජනප්‍රියත්වයක් හිමිකරගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවේ. සමහරවිට ඒකට වාසනාව කියන දේ බලපාන්න පුළුවන්. දෙරණ නාළිකාවේ විකාශය වෙන ඉස්කෝලේ ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණ ඔහු මේ වන විට බොහෝ දෙනකුගේ දෙනකුගේ කතාබහට ලක්වෙන චරිතයක්. නමින් ඔහු ධනුෂ්ක සම්පත්. ඉතින් අද අපි කතා කරන්නේ ඔහු ගැනයි. රත්නපුර ප්‍රදේශයේ උපත ලබන ඔහු ටෙලි කතාවෙන්ම ප්‍රධාන චරිතයක් හිමි කරගන්නවා.

රංගනයට දක්ෂ මොහු පාසල් කාලයේදී ක්‍රීඩාවට ද දක්ෂ කෙනෙක්. ඒ ගැන ධනුෂ්ක කිව්වේ මේ වගේ අදහසක්, මම පාසල් යන කාලේ මගේ මූලිකත්වය දුන්නේ ක්‍රීඩා කටයුතුවලට. පාසලේ වේදිකා නාට්‍ය කිහිපයක් රඟපෑවා. පාසලේ මාව ප්‍රසිද්ධ වුණේ නාහෙට අහන්නැති චරිතයක් විදිහට. පාසලේ වලියක් ගියාද මගේ නම එතන තිබුණා. කොහොම උනත් මම ක්‍රීඩා කටයුතු අධ්‍යාපන කටයුතු හැමදේම සාර්ථකව කරගත්තා.

පාසල් කාලේ ගෑණු ලමයින්ගේ ආකර්ෂණය වැඩි ව තිබුණ කියන කතාව ඇත්තක්ද, ”මට ඒ කාලේ නම් ගොඩක් ගෑනු ළමයි හිටියා. විවිධ සම්බන්ධතා ගොඩ නැඟුණා. හැබැයි ඒ හැම දේම පාසල් කාලෙට සීමා වුණ කතා විතරයි. පාසලෙන් අයින් වෙනවාත් එක්කම ඒ සියලු බැඳීම් නැති වුණා. හැබැයි අදටත් මතක් වෙද්දි ඒ මතක හරි සුන්දරයි.”

පතල් වල ගෙවපු ජීවිතේ කොහොමද, ”අපේ ගෙදර ලොකු වඩු මඩුවක් තිබුණා. ගෙදර හැමෝම එකතු වෙලා වඩුමඩුවේ වැඩ කරද්දි මට හිතුනා වෙනම දෙයක් කරන්න. මමත් මල්ලිත් දෙන්න එකතුවෙලා පතලට බහින්න තීරණය කළා. හැබැයි එක ලේසි පහසු දෙයක් නෙවෙයි. පතල් වල වැඩ කරද්දි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ. මොකද නැත්නම් මැණික් අතුරුදහන් වෙනවා. ගඟේ මැණික් ගරනවා කියන එකනම් හරි අමාරු දෙයක්. හැබැයි මැණික් කියන්නේ සල්ලි. ලොකු අවදානමක් අරගෙන තමයි ඒ කාලේ පතල් වල වැඩ කලේ.”

පතල් වල ජීවිතේ හොයපු ඔබට දෛවය වෙනස් කරන්න කොළඹට එන්න වුණා නේද, ”ඔව් හරි අහම්බෙන් මට කොළඹ එන්න සිද්ධ වෙනවා දන්න අයියා කෙනෙක්ගේ විෂුවල් එකකට. කලාවට තිබුණ ආසාව නිසාම මම ඒ ගමන ආවා. ඒ විෂුවල් එකේ මට පුංචි කොටසක් තමයි ලැබෙන්නේ. හැබැයි එතනින් මට කලාවට එන්න උණ හැදෙනවා. ඒ එක්ක මම කලාවට එන්න පාරවල් හොයන්න පුරුදු වෙනවා. මම ගොඩක් දුක් වින්දා කොළඹ ඇවිත්.

හැබැයි කොයිම වෙලාවක වත් ජීවිතේ බලාපොරොත්තු අත්හරින්න මම සූදානම් වුණේ නැහැ. සමහර වෙලාවට මම රැවටුනා. මොකද සමහරු චරිත දෙන්නම් කියලා මාව කඩේ යැව්වා.කොහොම වුනත් මට ඕන වුනේ රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක් වෙනවට වඩා රටම දන්න නළුවෙක් වෙන එක. මොන තරම් කඩාවැටීම සිද්ධ උනත් මොන තරම් ප්‍රතික්ෂේප වීම සිද්ද වුනත් මම ජීවිතේ බලාපොරොත්තු වුන තැනට ආවා”

ආදරේ ගැන මොකද හිතන්නේ, ”ඉස්සර වගේ සෙල්ලක්කාර තීරණ ගන්න බැහැ දැන් මට. ඒ නිසා හොඳට හිතලා තීරණ ගන්නවා. ආදරේ කියන දේ පපුවට දැනෙන්න ඕන දෙයක්. මට තවම කිසිම කෙනෙක් පපුවට දැනිලා නැහැ. සමහර විට ඉදිරියේදී නිළියක් මගේ පෙම්වතිය වෙන්නත් පුළුවන්. ඇය මගේ බිරිඳ වෙන්නත් පුළුවන්. ඇය මොන වෘත්තියක හිටියත් මම බලාපොරොත්තු වෙන ගතිගුණ ඇයට තිබිය යුතුයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *