පුංචි තිරය හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට වොල්ගා කල්පනී හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට විවිද නිර්මාණ හරහා ඔබ හමුවන්න එන වොල්ගා කියන්නේ නිතරම දකින්න පුළුවන් රංගන ශිල්පිනියක් නෙවෙයි මොකද ඇය රඟපාන්නේ තෝරා බේරාගත් නිර්මාණ වල පමණයි. කොහොම වුනත් මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටු ගේ චරිතය හරහා වොල්ගා දැකගන්න පුළුවන්. ඉතින් අද අපේ කතාබහට එකතුවෙලා ඉන්නේ ජනප්‍රිය නිළියකවන වොල්ගා කල්පනී.
ඉතින් වොල්ගා කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ, ”කියන්න තරම් විශේෂයක් නෑ අපේ රටේ අනිත් සාමාන්‍ය ජනතාවට තියෙන පොදු ප්‍රශ්න ඔක්කොම මටත් ඒ විදියටම තියෙනවා. තෙල් ප්‍රශ්නේ තමයි ලොකුවටම තිබ්බේ, හැබැයි දැන්නම් තරමක්දුරට ඒ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ. අනිත් ප්‍රශ්නේ බඩු මිල. මට විතරක් තියෙන ප්‍රශ්න නිසා හිත හදාගෙන ඉන්වා”
වොල්ගා දැන් රඟපෑම විතරද කරන්නේ ”නෑ මම මේ වනවිට ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් විදියට සාදාරන මිලක් තමයි ඒවාට අය කරන්නේ. කොහොමත් මේ වෙද්දී රඟපාලා විතරක් ජීවත්වෙන්න බෑ, කොහොමත් මම මගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවෙන් හිටියේ”
වොල්ගා ආදරේ සහ ජීවිතේ දකින්නේ කොහොමද ”මම බොහොම සරල කෙනෙක්, හැම වෙලාවේම හැමෝම හොඳින් ඉන්න ඕන කියල හිතන කෙනෙක් ඉතින් මම ආදරේ දකින්නේ ලබාගන්න ඕන දෙයක් විදියට නෙවෙයි, තමන් ආදරේ කරන කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න පුලුවන්නම් ඒක තමයි ආදරේ කියන්නේ කියලයි මම හිතන්නේ, ජීවත් වෙන ටික කාලයේ දුක සතුට හැමදේම ලැබෙනවා ඉතින් අපි ඒ දේවල් දරාගෙන ඉන්න ඕන”