‘කොල්ලෝ මට මාර විදියට බයයි දැක්කම දුවනවා’ රශ්මිකාටත් වඩා සුන්දර ඩිලුක්ෂි කියන කතාව

කාන්තා චරිත අතර මේ දිනවල ඇය බෙහෙවින් ජනප්‍රිය චරිතයක්. සමහර පිරිමින්ට ඇය දුටු විට ඇති වෙන්නේ බියක්. පුංචි තිරයේ ධරණි ටෙලි නාට්‍ය හරහා ආලින්දයට එන ඇය නමින් ඩිලුක්ෂි හංසිකා. පාසල් කාලේ සිටම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඩිලුක්ෂි පාසල් ජීවිතය තුළ කැපී පෙනෙන චරිතයක් වුණා. විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ද සිය දක්ෂතාවය පෙන්නුම් කරපු ඇය වාසනාවන්ත චරිතයක් කිව්වොත් නිවැරදියි. 2020 දෙරණ අවුරුදු කුමරිය හරහා තුන්වැනි ස්ථානය දිනා ගන්න සමත් වුන ඇය කුඩා කාලයේ සිටම නීතිඥවරියක් වෙන්න ආසාවෙන් සිටිය බවයි අප හා කියා සිටියේ. අධ්‍යාපන කටයුතු වල සිය දක්ෂතාවය පෙන්නුම් කරමින් මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයට වරම් හිමි කරගෙන සිටින ඇය ජපන් භාෂාව ද ඉගෙන ගනිමින් සිටිනවා.

ධරනි ටෙලිනාට්‍යයට සම්බන්ධ වන මුල් දවස ගැන මතක් කළොත්, ”ධරණි ටෙලි නාට්‍යය කියන්නේ මම සම්බන්ධ වෙන්න පළවෙනි නිර්මාණය. මුලින්ම කියන්න ඕනේ මට ලොකු සතුටක් තියෙනවා ඒ නාට්‍යයේ ඉන්න ප්‍රවීනයන් හා වැඩ කරන්න ලැබීම ගැන. ඒ අය ලොකු සහයෝගයක් දෙනවා මට මගේ චරිතය සාධාරණ විදිහට විදියට ඉදිරිපත් කරන්න. ෂුටින් ගිය දවසේ මම ඉතාම පොඩි කොටසක් තමා රඟපෑවේ. හැබැයි එදා මට දැනුනා මම කල්පයක් වෙලා රඟපෑවා වගේ. පුංචි කොටසකින් ප්‍රේක්ෂකයන් හමුවට ආවත් ධරණි ටෙලි නාට්‍යය ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. මම කොහොමත් භාරගත්ත වැඩේ සාර්ථක විදිහට ඉවර කරන කෙනෙක්.”

සටන් ජවනිකා ගැන මොකද හිතෙන්නේ, නාට්‍ය පුරාවටම තියෙන්නේ සටන් ජවනිකා. සමහර පුහුණුවිම් කරන්න ගිහින් අනතුරුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇත්තටම කියන්නම සමහර දවස් වලට කොන්දේ වේදනාව අතපය රිදිම් ඕනි තරම් තිබුණා. හැබැයි එක දිගට පුහුණුවීම් කරනකොට වැඩේ ඉක්මනට අල්ලගන්න පුළුවන් වුණා. විනාඩි දෙක තුනක කොටසකට උනත් අපි මුළු දවසක් පුහුණුවීම් කරනවා. මේ සියලු සටන් ජවනිකා ජවනිකා තාත්වික විදිහට තමයි අපි කරන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොම ද ඔබට, ”ගොඩක් පිරිමි ළමයි හිතාගෙන ඉන්නේ මම ගොඩක් දරුණු වස කෙල්ලෙක් කියලා. පාරේ යනකොට පිරිමි ළමයින් එක එක විදිහේ එක කතා කියනවා. සමහරු මට ඇහෙන්නම කියනවා ගහයිද දන්නේ නැහැ කියලා. සමහර අය මේ ධරණී එකේ අර ගහන කෙල්ල නේද කියලා කියනවා. ඒ අතරේ සමහරු මාත් එක්ක කතා කරන්නෙත් බයෙන් මම දිහා බලන්නෙත් යකෙක් දිහා බලනවා වගේ. ඒ වුණත් දන්න අය දන්නවා ඇත්තට මම ගොඩක් සුහදශීලී ලෙන්ගතු කෙනෙක් කියලා. ඒ කොහොම වුනත් මට මේ චරිතය හරහා ලැබෙන ප්‍රේක්ෂක ආදරය ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අති විශාලයි.”

ධරණි ටෙලි නාට්‍යය ගැන ඔබට හිතෙන්නේ මොන වගේ හැඟීමක්ද, ”මම හිතන්නේ සමාජයක කාන්තාවකට ලොකු ආදර්ශයක් දෙන කතාවක් තමයි ධරණි ටෙලි නාට්‍යය කියන්නේ. කාන්තාවකට වුණත් සමාජය ඇතුලේ කතා කරන්න අයිතියක් තියෙනවා. පිරිමියෙකුට වගේම නිදහසේ ජීවත්වෙන්න අයිතිය තියෙනවා. කාන්තාවක් වුණා කියලා හැම තැනකම නිහඩ වීම සුදුසු නැහැ. මේ හැමදේම ධරණි ටෙලි නාට්‍යය තුළින් කියලා දෙනවා. මම නම් හිතන්නේ ගෑනු ළමයෙක් විදියට සටන් කලාව ඉගෙන ගත්තා කියලා වරදක් නෑ. මොකද ගෑණු ළමයෙකුගේ ආරක්ෂාව ගෑණු ළමයෙක් විසින්ම සපයගන්න ඕන. මම මේ කියන්නේ හැම වෙලාවකම ගහන්න නෙවෙයි.අවශ්‍ය වෙලාවට කතා කරන්න.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *