Sat. Jun 25th, 2022

මේ වන විට ඔහුව නොදන්න කෙනෙක් නැති තරම්. ඊට හේතුව දස වන දෙරණ ඩ්‍රිම් ස්ටාර් කිරුල හිමිකරගත්තේ ඔහුයි. නාවලිපිටියේ සිට පැමිණි දුලංග තමන්ගේ ජීවිතයේ හින පස්සෙ දුවපු කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති ඔහුට මේ කිරුළද හිමිවුණේ. ඉතින් අපි හිතුවා ඔහු සමග කතා කරන්න. ඇත්තටම ඔබ හිතුවද තරඟය ජයග්‍රහණය ඔබට හිමිවෙයි කියලා, ඔව් මට ලොකු විශ්වාසයක් මම ගැන තිබුණා. හැබැයි මාත් එක්ක තරග කරපු අනිත් තරගකරුවෝ දෙන්නද මට ලොකු තරඟයක් දුන්නා. මම විතරක් නෙමෙයි ඇත්තටම ඒ දෙන්නත් දිනුම්. මම හිතන්නේ මේ තරඟයට ආව හැම කෙනෙක්ම ජයග්‍රාහකයෝ විතරයි කියලා. මොකද ඒ තරමට මේ තරගය බොහෝ දෙනකුට සමීප ලෙන්ගතු වුණා.

ඔබ පුංචි කාලයේ සංගීතයට ආස කෙනෙක්ද, ඇත්තටම මම සංගීතය ගැන පිස්සෙක් කිව්වොත් හරි. අම්මා තමා මගේ ඔලුවට මේ පිස්සුව දැම්මේ. අම්මගේ ලොකුම බලාපොරොත්තු ඉෂ්ට කරන්න මට අද අවස්ථාව ලැබුණා. මුලින්ම මම derana දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ද ඇතුළත් වුණා. ඒකට හේතුව පුංචි කාලේ ඉඳන්ම මගේ අම්මා මගේ හැකියාවන් අඳුරගෙන තිබුණා. අම්මා මාව දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයට ඇතුළත් කළේ මට සෙල්ලම් බඩු අරන් දෙන්නම් කියලා. මම ඉතින් ඒ හැම තරග වාරයකටම ඉදිරිපත් වුණේ සෙල්ලම් බඩු වලට තියෙන ආසාවට. සෙල්ලම් බඩු වලට ආසාවේ මම සින්දු කිව්වා කිව්වොත් හරි. මම එදා තරගයේ අවසන් දොළොස් දෙනා අතරට ආවා. හැබැයි එතනින් මගේ ගමන නතර වෙනවා. එදා මම අඬ අඩ තමයි ගෙදර ආවේ. ඒ ඇඬුවෙ තරගයෙන් ඉවත් වන දුකට නෙවෙයි මට සෙල්ලම් බඩු නැතිවෙන දුකට. ඔය විදියට තමයි මගේ සංගීත ගමන ආරම්භ වෙන්නේ.

ජීවිතයේ ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද, කෙටියෙන්ම මගේ අම්මටයි තාත්තටයි මම රත්තරන් පුතෙක්. ඒ දෙන්නගේ එකම බලාපොරොත්තුව මම කොහොමහරි ඉෂ්ඨ කරා.ජීවිතයේ ඇතුලේ මම ගොඩක් සුහදශීලී කෙනෙක්. ඕනම කෙනෙක් එක්ක කතාබහ කරලා හොදින් ජීවත් වෙන්න මට පුළුවන්. මම මගේ පාඩුවේ ජීවත් වෙන්නේ වෙන්න කැමති කෙනෙක්. කාටවත් කරදරයක් නැතුව. මගේ චරිතය කොයි වගේ චරිතයක්ද කියලා මාව ආශ්‍රය කරන අය දන්නවා.

අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්, මම කැමැතියි ගායකයෙක් වෙන්න. මම හිතන්නේ ඒ යන ගමනට පාර මේ වෙද්දි හැදිලා ඉවරයි. අධ්‍යාපනය පැත්තෙන් මම උසස් පෙළ ඉවර කරල ඉන්නේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යනවද නැද්ද කියලා තවම මම තීරණය කරලා නැහැ. හිතේ තියෙන බලාපොරොත්තු ටිකෙන් ටික ඉෂ්ට වෙයි කියලා බලාගෙන ඉන්නවා.