‘අද කාලේ රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ’ ඩාලින් අක්කා

වේදිකාවෙන් තම ගමන ආරම්භ කරන ඇයට පුංචි තිරයද මේ වන විට ආධුනික තැනක් නෙවෙයි. ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ චරිතාංග නිළියක් විදිහට. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යය හරහා ඇය ඩාලින් අක්කගේ චරිතය රඟපාමින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය වෙනදට වඩා දිනාගනිමින්. කවුද මේ ඩාලින් අක්කා. නමින් චන්දිමා කරුණාදාස. මේ සුදානම ඇය ගැන කතා කරන්නයි.

මේ දිනවල ජනප්‍රිය චරිතයට ඩාලින් අක්කා නිසාම අපිට අලින් අක්කගෙන් ම කතාව පටන් ගමු, ”මම කටකාර චරිතයක් කරන පළවෙනි අවස්ථාව මේක. ඇත්තටම ඩාලින් අක්කා කියන්නේ වෙනස්ම චරිතයක්. මම හිතන්නේ ඩාලිං අක්කා වගේ චරිත අපිට සමාජයේ ඕනතරම් මුණගැහෙනවා. මට මේ පිටපතේ මේ චරිතය ලැබුණාම ඒ චරිතයට හුරුවෙන්න ටික කාලයක් ගියා. මට ගොඩක් දේවල් මගේ ජීවිතෙන්ම වෙනස් කරගන්න වුනා ඒ චරිතය වෙනුවෙන්. විශේෂයෙන්ම මම සැබෑ ජීවිතයේදී නිහඬ චරිතයක්. මේ වගේ මුළු ගමටම ඇහෙන්න කෑ ගහන චරිතයක් ලැබුනහම මුලින්ම බය හිතුනා ඒ චරිතය මට කරන්න පුළුවන් වෙයිද කියලා. මම අඳින පලඳින විදිය පවා වෙනස් කර ගන්න සිද්ධ වුණා. කොහොම වුණත් ඒ චරිතයට මම ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තා.

ඔබ විවිධ චරිත රඟපාන්න චරිතාංග නිළියක් ඒ ගැන මතක් කළොත්, ”කොහොමත් මම එක සීමාවකට කොටු වෙලා රඟපාන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒ වගේම මට දෙයක් කරන්න නැති චරිත මම බාර ගන්නෙත් නැහැ. මට මොනතරම් ආරාධනා ලැබුණත් මට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් විතරයි මම ඒ චරිතයට සම්බන්ධ වෙන්නේ.එහෙම නැතුව ආවට ගියාට මම පිටපතක් භාරගෙන චරිතයකට සම්බන්ධ වෙන්නේ නැහැ.

රටේ පවතින තත්ත්වයත් එක්ක ඔබට එකම ප්‍රතිපත්තියක ඉන්න පුලුවන්ද, ශ්‍රී ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක රංගනය විතරක් කරල ජීවත් වෙන්න බැහැ. ඇත්තටම වෘත්තීය මට්ටමෙන් රංගනය කරන්න ආස උනත් එහෙම කරන්න බැහැ. වෘත්තියක් විදිහට රංගනය කරනවා නම් ලැබෙන හැම චරිතයකටම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි කවුරුත් නොකියන ඇත්ත කතාව. හැබැයි මම ඒ තැනට පත් වෙන්න කැමති නැහැ. නිරන්තරයෙන් දකින නිළියක් ට වඩා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණ චරිතයක් වෙන්නයි මට ඕන. ඒ නිසා සාර්ථකව එක නිර්මාණයක් කලත් ඇති. රංගනයට අමතරව මම රාජ්‍ය සේවයේ නියැලෙන කෙනෙක්.

වේදිකාවෙන් ආරම්භ කරපු ගමන අද පුංචි තිරය දක්වා ඇවිල්ලා තියෙනවා, ඉතින් කොහොමද වේදිකාවෙන් ලබපු පන්නරය, මම හිතන්නේ රංගනයට එන ඕනම කෙනෙකුට වේදිකාව කියන්නේ හැදෙන්න හොදම තැනක්. වේදිකාවෙන් මම ලබපු පන්නරය මට කැමරාවක් ඉස්සරහා රඟපාද්දී ලොකු හයියක් වුනා. වේදිකාවෙන් තමන්ගේ රංගනය ආරම්භ කරපු කෙනෙකුට අනෙක් මාධ්‍යයන් තුළ ගමනක් යද්දි ලොකු අපහසුවක් දැනෙන්නේ නැහැ.

ඔබට දැන් වේදිකාව මග හැරිලා ද, ඔව් මම හිතන්නේ මට දැන් වැඩ කටයුතුත් එක්ක වේදිකාව මගහැරිලා කියලා. ඇත්තටම වේදිකාව කියන්නේ කැපකිරීම් කරන්න ඕන තැනක්. වේදිකාවේ තියෙන වගකීම් එක්ක පුංචි තිරයේ වැඩ කරද්දි වේදිකාවේ වගකීම් මඟහැරෙන එක සිද්ධ වෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *